තිරය

මට හිතෙන දේ …..

අඳුරේ කැරම්

අද අපේ බෝඩිමේ ඉන්නෙ ටික දෙනයි. අනිත් අය ගෙවල් වල ගිහින්. ඉන්න අයත් හවස ලෙක්චර්ස් ඉවර වෙලා බෝඩිමට ඇවිල්ලා පොඩි කයියක් ගහන් ඉන්නකොට කරන්ට් එක ගියා. දැන් ඉතින් මොනව කරන්නද? වෙලාවට ඉටිපන්දමකුයි ටෝච් එකකුයි තිබුණෙ, නැත්තන් ඉතින් කළුවරේ තමයි ඉන්න වෙන්නෙ ;-)

හරියට පේන්නෙ නැතුව වැඩ කරන්නත් බෑ නේ. ඒක නිසා කට්ටියම සෙට් වුණා කැරම් ගහන්න, අපේ බෝඩිමේ ජාතික ක්‍රීඩාවනේ ;-) එක කොණකින් ඉටිපන්දම පත්තු කරන් තමයි ගේම් එක ගැහුවෙ. යන්තම් කළු සුදු ඉත්තො අඳුරගන්න පුළුවන්. මේකෙන් අපිට සිරාම කණාකාරයො ටික අල්ල ගන්න පුළුවන් වුණා. උන්ට විතරයි ඉත්තො දාන්න පුළුවන් වුණේ. ටැලන්ට් එක තියෙන උන්ට ඉත්තො දාන්න වලවල් පේන්නෙ නෑ නේ ;-)

මෙහෙම වට කීපයක් යද්දි අපි ක්‍රීඩාව වෙනස් කරා. කැරම් ගහපු අපි කැරම් බෝඩ් එකේ දාම් අදින්න පටන් ගත්තා. ඒ කියන්නෙ ඉත්තො උස්සන්න පටන් ගත්තා. කළුවරේ පේන්නෙත් නෑ නේ. ඒක නිසා අවුලක් නෑ. සමහර වෙලාවට උස්සන ඉත්තො මාට්ටු. කැරම් බෝඩ් එකේ දාම් ඇදීම ප්‍රගුණ කරපු කීප දෙනෙක්ම අපේ බෝඩිමේ ඉන්නවා ;-) මෙහෙම ඉන්න අතරේ එකෙක් කළු ඉත්තෙක් කියල හිතල රෙඩා උස්සල, පොර අතේ මාට්ටු :-D හොරකම වුණත් අහු නොවෙන්න කරන්න එපැයි, මුන්ට කැම්පස් අවිල්ත් ඒක තේරෙන්නෙ නෑ නේ.

තව ටික වෙලාවක් යද්දි වැඩේ පොඩ්ඩක් සාධාරණ වෙන්න පටන් ගත්තා. ඒ කියන්නෙ ගේම් එක ඉවර වෙලා තමන් උස්සපු ඉත්තො ගාණ තමන් කියනවා. අපි ඉතින් සාධාරණ හොරුනේ ;-) කොහොම හරි අන්තිම වෙනකොට කැරමුත් නෙවේ දාම්නුත් නෙවේ. අනිත් පිලට නොදැනෙන්න වැඩියෙන්ම ඉත්තො උස්සපු කණ්ඩායම තමයි දිනුම්. පරිණාමයද මොකක්ද කියන්නෙ මේකට වෙන්න ඇති ;-)

ටික වෙලාවකින් ඒකත් එපා වුණා. වෙන කරන්න අලුත් සෙල්ලමක් හොයා ගන්නත් බැරි වුණා. ඉතින් කටිටිය නිදා ගන්න ගියා. ගිහින් වැඩි වෙලා යන්න වුණේ නෑ කරන්ට් එක ආවා. ටික දෙන්ක් නිදි, ඉතුරු ටික නැඟිටල. මමත් නඟිටපු නිසා දැන්මම මේ පෝස්ට් එක ලියන්න ඕන කියල හිතුණා.

ඔන්න ඔහොමයි අපි කළුවරේ කැරම් ගහන්න පටන් අරන් අන්තිමේ නමක් නැති ගේමකින් වැඩේ ඉවරකරේ…..

ඔක්තෝබර් 15, 2009 Posted by කල්ප පැතුම් | මගේ අත්දැකීම්, මට වුණ හදියක් | | ප්‍රතිචාර 5

Freshers’ Day 2009

කොහොමද? කාලෙකින් නේද? හෙ හෙ එහෙම තමයි දැන් ඉතිං සති අන්තෙ විතරයිනේ ගෙදර ඉන්නෙ.

ඊයෙ (24) අපේ කැම්පස් එකේ (මෝරා) Freshers’ Day 2009 පැවැත්වුණා. වැඩේ සංවිධානය කරල තිබුණෙ level 2 අයියල අක්කල. වැඩේ එළ, මල් 7යි. උත්සවය ආරම්භ කරේ පස්වරු 1ට. ප්‍රධාන ආරාධිත අමුත්තන් විදියට ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිතුමන් අතුළු ආවාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගි වුණා. මුලින්ම තිබුණෙ level 1 එකේ (අපේ ;-) ) වැඩ පෙන්නීම. අපේ බැචාල සින්දු කියල නාට්‍ය පෙන්නල වැඩේ සිරාවට කරා. ඒ අතරින් C1 එකේ නාට්‍ය සුවිශේෂයි.

ඊට පස්සෙ තිබුණෙ level 2 අයියල අක්කලගෙ අවස්ථාව. ඒ අයත් ගීත ගායනා සහ නාට්‍යයක් ඉදිරිපත් කරල තමන්ගෙ දක්ෂතා පෙන්නුවා. ඩ්‍රම්ස් ගහපු අයියා ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. මේ අතර level 1 group coordinator ගුරුවරුන්ට level 1 සිසුන්ගෙන් උපාහාර පිදීම, මෙම උත්සවයට සමගාමීව පැවැත්වුණු චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම හා පසූගිය දවස් වල රඟමඩලේ පැවැත්වුණු නාට්‍ය තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමද සිදුවුණා. ආහ්…. අපිට පොඩි සංග්‍රහයකුත් හම්බුණා. උත්සවය අවසාන වීමට නියමිතව තිබුණෙ හවස 6ට වුණත් වැඩේ ඉවර වෙනකොට 7 විතර වුණා.

අවසානෙ හැමෝම විසිර ගියේ සතුටින්, ෆුල් ආතල් එකේ. අපි අපේ බැචාලගෙ දක්ෂතා සහ level 2 අයියල අක්කලගෙ දක්ෂතා දැක්කා. ඒ අය අපේ දක්ෂතා දැක්කා. අපි අපි අතර සුහදත්වය වැඩි වුණා. පෙරේදා කැම්පස් එක ඇතුළෙදි දැනුනට වඩා වැඩි සමීප බවක් අද කැප්මස් එක අතුළෙදි අපිට දැනුනා.

මේ යහපත් සොඳුරු අත්දැකීම ලබන වසරේ එන නංගිලා මල්ලිලාටත් අත්විදින්න ඉඩ සලසා දෙන්න අපි බලා සිටිමු…..

සැප්තැම්බර් 25, 2009 Posted by කල්ප පැතුම් | මගේ අත්දැකීම් | | ප්‍රතිචාර 6

අලුත් තාලයේ සෙවුම් යන්ත්‍රයක්

කාලෙකට පස්සෙ පෝස්ට් එකක් ලියන්නෙ. කියන්න යන්න අලුත් තාලයේ සෙවුම් යන්ත්‍රක් පිළිබඳව. wolframalpha. මේක ගැන මුලින්ම දැනගත්තෙ විජය පරිගණක සඟරාවෙ 2009 මැයි කලාපයෙන්.

මේක දෙවෙනි පරම්පරාවේ සෙවුම් යන්ත්‍රයක් කියල තමයි කියල තිබුණෙ. මමත් ගිහින් බැලුවා. මේකෙ google වලට වඩා වෙනස්. google වල අපිට දෙන්නෙ සෙවුම් ලැයිස්තුවක්නේ, මේකෙ අපිට විවිධ මූලාශ්‍ර වලින් තොරතුරු හොයල පෙන්නනවා. හැබැයි මේක තාම දියුණු වෙමින් පවතින් එකක් (google නුත් එහෙම තමයි, මම කියන්නෙ මේක අපි දෙන හැම වචනයකටම සෙවුමක් දෙන්න තරම් තාම දියුණු නෑ කියල).

මේකෙ “Sri Lanka” කියල සෙවුමක් දැම්මහම පෙන්නන්නෙ ශ්‍රී ලංකාවෙ තොරතුරු සාරාංශයක්, හැබැයි වැදගත් තොරතුරු හුඟක් තියෙනවා. USD LKR කියල දුන්නහම පසුගිය මාස/අවුරුදු කීපය තුළ විනිමය අනුපාත අගය වෙනස් වූ හැටි වගේ තොරතුරුත් මේකෙ පෙන්නනවා. “meningitis” කියල සෙව්වහම ලංකාවෙ/ලෝකයේ මේ රෝගය නිසා කොච්චර මරණ සිදුවෙනවද වගේ තොරතුරු පෙන්නනවා, හැබැයි රෝගය ගැන තොරතුරු පෙන්නන්නෙ නෑ. මේකෙන් ප්‍රශ්නයක් අහන විදියටත් සෙවුමක් දාන්න පුළුවන්. වැඩි විස්තර. කියවන්න කම්මැලි නම් මෙන්න.

ටිකක් වෙනස් විදියෙ වැඩක්, අලුත් අත්දැකීමක්. මේ තියෙන්නෙ මම අහපු ප්‍රශ්න දෙකක්
“‌Who is a man?”
“Who is a woman?”
බලමු තෙවෙනි පරම්පරාවෙ සොයුම් යන්ත්‍රයකටවත් උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයිද කියල. ;-)

ජූනි 4, 2009 Posted by කල්ප පැතුම් | මගේ අත්දැකීම් | | ප්‍රතිචාර 4

Twitter, Facebook සහ Pidgin

කියන්න යන්නෙ වැඩක් ලේසි කර ගන්න ක්‍රමයක් ගන්න (ලේසියෙන් කරන්න ගිහින් වැඩ අල වුණොත් ඔන්න මම නෑ :-D )

Pidgin වලට තියෙනව purple-microblog කියල ප්ලගින් එකක. ඒකෙන් Twitter එකත් වෙනම ගිණුමක් (account) විදියට එකතු කර ගන්න පුළුවන්. මේකෙන් අපේ Twitter තත්වය යාවත්කාල කරන්න (status update), අනිත් අයගෙ තත්ව බලා ගන්න ආදී twitter වලින් කරන්න පුළුවන් හැම දෙයක්ම වගේ මේ ප්ලගින් එක හරහා කරන්න පුළුවන්.

ෆෙඩෝරා වල ඉදන් purple-microblog ස්ථාපනය කරගන්න නම් terminal එකේ ඉදන් මෙහෙම විධානය දුන්නහම හරි,
yum install purple-microblog

Facebook වල තියෙනව twitter කියල වැඩසටහනක්. මේකෙ තියෙනව twitter මඟින් Facebook තත්වය යාවත්කාල කරන්න කියල විකල්පයක්. ඒක දැම්මාම වැඩේ ගොඩ.

දැන් twitter වලින් තත්වය යාවත්කාල කරහම Facebook වලත් ස්වයංක්‍රීයවම තත්වය යාවත්කාල වෙනවා.

මේ වැඩේ මට නම් ලේසියි. twitter.com වලට නිතරම යන්න ඔනෙත් නෑ, දෙපාරක් තත්වය යාවත්කාල කරන්න ඕනෙත් නෑ. අලුත් අවුරුද්දෙ කොච්චර සිම්පල් ප්ලෑන් එකකෙද ? :-)

අප්‍රේල් 16, 2009 Posted by කල්ප පැතුම් | නිදහස් හා විවෘත මෘදුකාංග, මගේ අත්දැකීම් | | ප්‍රතිචාර 4

අමුතු විදියට වීඩියෝ බැලීම

කවදහරි හිතල තියෙනවද linux terminal එකෙන් වීඩියෝ එකක් බලන්න? මෙන්න උත්සහ කරල බලන්න

mplayer -vo caca

කළු සුදු ප්‍රතිදානයක් ලබා ගන්න නම් පහත විධානය දෙන්න
mplayer -vo aa

අප්‍රේල් 12, 2009 Posted by කල්ප පැතුම් | වෙනත් | | එක් ප්‍රතිචාරයක්

මේ අවුරුද්දෙ tech කටු අතරින් අලුත් අවුරුද්දට

පහුගිය කාලෙ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න මාර කට්ටක් තමයි කෑවෙ. මගේ D-Link රවුටරේ වැඩ කරන්නෙ නැතුව ගියා. ඊට පස්සෙ ඉතුරු වුණේ ZTE මොඩම් එක.ෆොඩෝරා වලට ඒකෙ ධාවක (drivers) නැති නිසා උබුන්ටු සජීවි තැටිය දාලා ubudsl පැකේජය දාල තමයි යාන්තන් සම්බන්ධ වුණේ. මේට දවස් දෙකකට විතර ඉස්සෙල්ලා ඒකත් වැඩ කරන්නෙ නැතුව ගියා. දුන්නා SLT එකට ඇමතුමක්. අද තමයි ආවෙ. ඇවිල්ලා බලල කිව්වා මොඩම් එකේ අවුලක්ලු.  මගේ ලඟ ඒ වෙලාවෙ මොඩම් එක ගත්ත බිල තිබුණේ නෑ. ඒ පාර ආපු මනුස්සය SLT එකේ කාටද කතා කරල මොඩම් එක ගත්ත දිනේ ඇහුවා. මෙන්න ඒ මිනිහා කියපි මොඩම් එක අරන් තියෙන්නෙ 2007 කියල. මම මේක ගත්තෙ 2008 A/L ඉවර වෙලා, මට ඒක හොඳටම ශුවර්. ඒත් මගේ ලඟ ඒ වෙලාවෙ බිල තිබුණෙ නෑ නේ. බිල හොයල දිනේ බලල කෝල් කරන්න කියල ඒ මිනිස්සු යන්න ගියා.

මම හොයල හොයල අන්තිමට හොයාගත්තා……… බිල. අරන් තියෙන්නෙ 2008 අගෝස්තු. SLT එකේ උන්ට පිස්සු. මම ආපහු ඇමතුමක් දුන්නාම ඇවිල්ලා බිල බලල මොඩම් එක වෙනුවට රවුටරයක් දුන්නා. අන්තිමට මම ඇහුවා අර 2007 දිනයක් කිව්වෙ මොකක්ද කියල. “ආ සර් සමහර විට ඒ මහත්තයට වැරදිලා වෙන්න ඇති”. මම ඉතිං මොනවත් කිව්වෙ නෑ. මගෙත් වැරැද්දනේ, කලින්ම බිල මගේ ලඟ තිබුණනම් අවුලක් නෑ නේ.

කොහොම වුණත් ඔයින් මෙයිනෙ මට කලින් වගේ කට්ට නොකා ෆෙඩෝරා වලින්ම අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මට නම් අවුරුදු ජයයි. අවසාන වශයෙන් SLT එකට තෑන්ක්ස් ……..

අප්‍රේල් 9, 2009 Posted by කල්ප පැතුම් | මගේ අත්දැකීම් | | ප්‍රතිචාර 4

wine රහ

අද අම්මගෙ Excel ගොනු වල වැඩ වගයකට හදිස්සියේ MS Excel ඕන වුණා. අම්ම වෙනද වැඩ කරන්නෙ කාර්යාලයේ නිසා අවුලක් නෑ. ගෙදර තියෙන්නෙ Fedora නේ. ඉතිං කේස්. ‌මම wine වලින් උත්සහ කරල බැලුවා. wine වලින් MS Office 2003 ස්ථාපනය කරා. කිසි අවුලක් නෑ.  Windows වල ඉදන් කරාටත් වැඩිය හොඳයි වගේ ;-) Excel, Word වැඩ. අනිත් ඒවා නම් තාම බලන්න වුණේ නෑ. අම්මගෙ වැඩෙත් කරගත්තා. කිසි අවුලක් නෑ.

මම මේ කල්පනා කළේ wine දියුණු වෙච්ච තරම.

කල් යනකොට wine රහ වෙනව කියන්නෙ නිකමටයැ ……. නැද්ද මං අහන්නෙ ?

පෙබරවාරි 5, 2009 Posted by කල්ප පැතුම් | නිදහස් හා විවෘත මෘදුකාංග | | ප්‍රතිචාර 5

තින්ත ගෑම

මම මගේ බ්ලොග් එකේ පොඩි තින්ත පාරක් ගෑවා. සෑහෙන්න ගාණක් ගියා වැඩේට. :-D

බලන්නකො දැන් කොහොමද කියල.

පෙබරවාරි 4, 2009 Posted by කල්ප පැතුම් | වෙනත් | | ප්‍රතිචාර 9

Convert

convert කියන්නෙ ලිනක්ස් වල විධාන රේඛාවෙ ඉදන් පින්තූර ගොනු එක්ක වැඩ කරන්න තියෙන බොහොම වටින මෙවලමක්. මේක මුලින්ම දැක්කෙ නිදහස් හා විවෘත මෘදුකාංග දිනයට ගාල්ල ඕල්කට් විද්‍යාලයේ පැවති වැඩමුළුවෙදි. එදා අනුරාධ අයියා මේ මෙවලම භාවිතා කරල පින්තූර ගොනු නැවත ප්‍රමාණනය කිරීම කර්තෘ හිමිකම් (copyright) ලේබලයක් පින්තූරයට එක් කිරීම වගේ දේවල් කරල පෙන්නුවා. ඒ කාලෙ ඕව ඕන වුණේ නැති නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නෑ.

අද උදේ හිරන්‍ය (මගේ යාළුවෙක් සමහර විට අහල ඇති) කථා කරල අහුවා jpg ගොනු 160ක් විතර තියෙනව ඒවායෙ විභේදනය අඩු කරන්න සහ කර්තෘ හිමිකම් ලේබලයක් එක් කරන්න ලේසි ක්‍රමයක් තියෙනවද කියල. මට එක පාරටම කලින් සිද්ධිය මතක් වුණා. හැබැයි මෙවලමේ නමවත් මතක නෑ. ගූගල් පිහිටෙන් විස්තර හොයාගෙන convert ස්ථාපනය කරන්න උත්සහ කරා. ස්ථාපනය කරන්න දෙයක් නෑ, Fedora 10 එකත් එක්ක පෙර නිමි ඒක එනවා. කොහොම කොහොම හරි script එකක් ලියල මම මගේ ලඟ තියෙන jpg ගොනු ටිකක පරීක්ෂා කරල බැලුවා. වැඩේ ගොඩ.

හිරන්‍යගෙ පරිගණකයේ අන්තර්ජාල පහසුකම් නෑ (මිනිහා දැන් වැඩිපුර ඉන්නෙ කොළඹ නේ) මෙහෙයුම් පද්ධතියත් ලිනක්ස් නෙමේ. කුබන්ටු සජීවි තැටියක් දාල බැලුවා, ඒකෙ convert නෑ. ඊට පස්සෙ open solaris දාල බැලුවා, වෙලාවට ඒකෙ convert තිබුනා. ඉතින් වැඩේ ගොඩ. වැඩේට ගියේ විනාඩි 3ක් විතර. 372MB ගොනු 75MB බවට පත් වුණා. මේ ටික GIMP හෝ Photoshop හෝ වලින් කරන්න ගියා නම් කොච්චර කාලයක් වැය වෙයිද ?

මෙන්න script එක

#! /bin/sh

DIR=~/123

for n in $(ls $DIR)
{
convert $DIR/$n -resample 28.25 -gravity SouthEast -fill white -draw ‘text 10,10 “COPYRIGHT TEXT”‘ $DIR/$n
echo $n
}

exit 0

ජනවාරි 17, 2009 Posted by කල්ප පැතුම් | නිදහස් හා විවෘත මෘදුකාංග | | ප්‍රතිචාර 3

අ.පො.ස. උසස් පෙළ

හ්ම්….. ප්‍රතිඵලත් ආවා. මේ පාර නම් ගොඩ, අවුලක් නෑ. මාර සන්තෝෂයි. අද පාසල් ගියා ගුරුවරුන්ට ප්‍රතිඵල කියන්න. මේ තියෙන්නෙ මගේ උසස් පෙළ කතාව බෝහොම කෙටියෙන්.

මම උසස් පෙළ කරන්න තෝර ගත්තෙ ගණිත අංශය. පොඩි කාලෙ ඉදන්ම ගණන් වලට පොඩි ආසාවක් තිබුනා. හ්ම්…. සාමාන්‍ය පෙළ ඉවර වෙච්ච ගමන් උපකාරක පංති. අපිට පාසල් පටන් ගන්නකොටනම් ටිකක් කල් ගියා, සුනාමි කේස් නිසා. කොහොමහරි ඉතිං මුල් කාලෙ කිසි අවුලක් නැතුව වැඩේ කරගෙන ගියා. පහු වෙනකොට රසානය විද්‍යාව කේස් වෙන්න පටන් ගත්තා. අන්තිමට එපාම වුණා. මාත් එක්ක හිටපු අනිත් උන්ටත් ඒ ආනිසංසෙම තමයි. කොහොම වුණත් අපේ පංතියනම් ෆුල් ආතල්. උගන්නපු ගුරුවරුත් එහෙමයි, අපිත් එක්ක ෆුල් ෆිට්. අපේ පංතියට කිව්වෙ “විප්ලවකාරීන්ගේ පංතිය” කියල. ඒ නම පටබැඳුනෙ එක්තරා සිද්ධියක් නිසා, ඒක වෙනම කතාවක්. කොහොම වුණත් ඒ සිද්ධියෙන් පස්සෙ අපේ උන් මාර ෆිට්. ඒ කාලෙ ඉංගීසි පීරියඩ් එකේ මම පරිගණක විද්‍යාගාරෙ තමයි. සමහර දවස් වලට විවේක කාලෙත් ඒකෙ. කෑමත් නෑ. කෑම  එක වෙන උන්ට. හැබැයි ඉතින් පැනල ගිය උන් අල්ලන්න නාම ලේඛනය ලකුණු කරනව කියල කියල අපේ එකෙක් ඇවිල්ල පණිවිඩේ කිව්වොත් මම පංතියට යනවා. අන්තිම කාළෙ වෙනකොට එහෙම යන්නෙත්  නෑ. සර්ලා 1 දානව. පුස්තකාල පීරියඩ් එකෙ ගිහින් කියවන්නෙ පරිගණක පොත්, මිසුත් මම පුස්තකාලෙට යනකොටම පරිගණක පොත් රාක්කෙ යතුර දෙනව. හැබැයි අන්තිම කාලෙනම් දුන්නෙ නෑ. කොහොම වුණත් පසල් ජීවිතේ තිබුණු හොදම කාලෙ තමයි ඒ අවුරුදු දෙක. දැන් ටික ටික විභාගෙත් කිට්‍ටුයි. දැන් තමයි රත් වෙලා පාඩම් කරන්නෙ. මේසෙ, ඇඳ උඩ පුරාම පෙත් නිබන්ධන. පිස්සු වගේ. අන්තිම මාස දෙකේ විතර මමත් එක්ක තව යාළුවො තුන්දෙනෙක් ස්ට් වුණා පාඩම් කරන්න. ඒක නම් මරු පාඩම් කිරිල්ල, දැන් නම් මතක් වෙනකොටත් හිනා. සෙට් උනේ මලින්තලගෙ ගෙදර (සිංහල බ්ලොග් ලියන මලින්ත නෙමේ :-D ). ගෙදර තියෙන්නෙ ගාල්ලෙ කොටුව ඇතුලෙ. අනිත් උන් දෙන්නා බුද්ධියි ශානකයි. 6ට විතර තමයි වැඩේ පටන් ගන්නෙ. 8ට විතර හොදට කනව. ඊට පස්සෙ 10 විතර වෙනකම් ආපහු වැඩ. ඊට පස්සෙ ඉතිං FM නාලිකා වල සින්දු අහනව. ඒ කාලෙ ඇහුවෙ ඇසුර. අපි ඉතින් පුරුද්දක් වශයෙන් හැමදාම සින්දුවක් ඉල්ලල කට්ටිය හැමෝගෙම නම් ගුවන්ගත කරනව. FM නාලිකාවකට කියල නම කියවගන්න එක සෙල්ලම් වැඩක්ද :-D . ඊළඟට යනව කොටුවෙ ඇවිදින්න. හරි අපූරු දත්දැකීමක්. රෑ 12ට 1ට විතර ලස්සනට හද පායපු රාත්‍රියක නොනවත්වා ඇසෙන රළ බිදෙන හඩ අතරින් ගාලු කොටු පවුරේ ඇවිදීම, maxaaaaa. ඊළඟට ඉතිං සැපසේ නිදාගෙන පහුවෙනිදා පාන්දර ගෙදර බලා පාපැදි පැදීම. ඇත්තටම වැඩක් නොකෙරුනා කියන්නත් බෑ. ඊට පස්සෙ විභාගෙ ලිව්වා. ප්‍රතිඵල එනකම් ක්‍රිකට්, මුහුදෙ නෑම, හවසට හාලු කොටුවට සෙට් වෙලා සින්දු කීම වගේ දේවල් තමයි. මෙන්න ප්‍රතිඵල

සංයුක්ත ගණිතය – A

භෞතික විද්‍යාව – B

රසායන විද්‍යාව – C

ඉංග්‍රීසි – B

සාමාන්‍ය පොදු පරීක්ෂණය – 075

දිස්ත්‍රික්කයේ ස්ථානය – 140

ප්‍රතිඵල අවුල්. ආපහු මුල සිට. අපිත් එක්ක හිටපු සමහර උන් ඉංජිනේරු පීඨයට තේරුනා. මට යන්න බැරි වෙච්ච එක ගැන පොඩි දුකකුත් ඇතිවුණා, සාමාන්‍යයිනේ. පොඩිකාලෙ ඉදන්ම එකට ඉදල වෙන් වෙලා යනකොට.

දෙවැනි වර කරනකොට පළවෙනි වර වගේ කිසි ගතියක් නෑ. පාසල් යන්නෙත් නෑ නේ. ඒ කාලෙත් රෑට FM නාලිකා ඇහුවා. මෙඩිසින් තේරුනු අපේ එකෙක් (නම තීක්ෂණ) ඒ කාලෙ max FM එකේ වැඩසටහනක් කරා. මිනිහා ඒක කලේ රෑ 11ට විතර. අපි ඉතිං එතකන් වැඩ කරනව, තීක්ෂණයගෙ කටහඩ අහන්න එපැයි ;-) ඒ කාලෙ ගැන වෙන විශේෂයෙන් කියන්න තරම් දෙයක් මතක් වෙන්නෙ නෑ. දෙවෙනි වර විභාගෙ ලිව්වා, මෙන්න ප්‍රතිඵල

සංයුක්ත ගණිතය – A

භෞතික විද්‍යාව – A

රසායන විද්‍යාව – A

ඉංග්‍රීසි – A

සාමාන්‍ය පොදු පරීක්ෂණය – 077

දිස්ත්‍රික්කයේ ස්ථානය – 38

ගොඩ. අම්මට, තාත්තට, නංගිට, ගුරුවරුන්ට හැමෝටම මාර සන්තෝෂයි. අදත් සමහර අපේ උන් තුන්වන වර විභාගය කරන්නත් සූදානම් වෙනව. ඉස්සෙල්ලා මට දැනුනා වගේම පුංචි දුකක් උන්ටත් දැනෙනව ඇති. මේ පාර කැම්පස් යන්න තේරුනු අපේ උන් සෙට් වුනහම කතා කරන්නෙ කැම්පස් යන්න නොතේරුනු උන් ගැන. පොඩි කාලෙ ඉදන් එකට ඉදල අපිත් එක්ක යන්න නොඑන උන් ගැන අපිට දුකයි. මේ වගේම දුකක් කලින් වර කැම්පස් ගියපු අපේ උන්ටත් දැනෙන්න ඇති. එහෙම බැලුවහම මේ ප්‍රතිඵල වලින් සන්තෝෂ වෙනවයි කියල කියන්නමත් බෑ. ඒ සන්නෝෂය ඇතුලෙ සියුම් දුකකුත් තියෙනව ………………..

ජනවාරි 7, 2009 Posted by කල්ප පැතුම් | වෙනත් | | ප්‍රතිචාර 17