Monthly Archives: සැප්තැම්බර් 2008

දුම්රියේ බෝම්බ බිය

ගිය සතියෙ අඟහරුවාද (23) හවස දුම්රියට නැග්ගෙ ගෙදර එන්න. වෙනද වගේම තමයි
සෙනඟ පිරිල, සමුද්‍රෙනෙ. මම සුපුරුදු‌ පරිදි දොර ළඟට හේත්තුවක් දැම්ම,
ඇතුලෙ තෙරපි තෙරපි දාඩිය දාගෙන යනවට වඩා හුළං පාරක් වැදි වැදි යන එක
කොච්චර සැපක්ද.

බම්බලපිටියත් පහු වුණා. වැඩි දුරක් යන්න වුණේ නෑ
ඉස්සරහ පෙට්ටියේ හිටපු මිනිස්සු එක පාරටම පිටිපස්සට දුවන්න පටන් ගත්ත.
බලනකොට ඉස්සරහ පෙට්ටියක අයිතිකාරයෙක් නැති පාර්සලයක් තියෙනවලු‌. මට තරු
පෙනුණ, පාර්සලය නිසා නෙමෙයි  දුවගෙන එන සෙනඟ දැකල. දුවනව කිව්වට රේස් එකක්
වගේ දුවන්න බෑනේ, තද වෙවී ෂීට් වල වැදි වැදි නේ එන්නෙ. ඒ අතරෙ පිරිමි අය
දුම්රිය නවත්න දම්වැල අදිනව (ඒ වෙලාවෙමනන් දුම්රිය නැවතුනේ නෑ, ඒව වැඩ
කරනවද දන්නෙත් නෑ) තව කට්ටියක් කලබලෙන් දුරකථන ඇමතුම් ගන්නව. ඒ ඔක්කොටම
වඩා කාන්තා පක්ෂය මර ලතෝනි දෙනව. ඒ අය දුම්රියේ පිටිපස්සට තල්ලු විගෙන
එන්නෙත් ඕනම බාධකයක් කඩාගෙන යන්න වගේ. ඒක දැකල මගේ බය දෙගුණ තෙගුණ වුණා.
වෙලාවට පෙට්ටි ටිකක් දිගට තියෙන්නෙ නැත්තන් අද මට ලියන්න තරන් දෙයක් මතක
හිටීද කියලත් සැකයි. මම පුළුවන් තරම් දොරයි ආධාරකයයි අල්ල ගත්ත. දොරරෙන්
ඇතුලට යනකොට දෙපැත්තෙ දොරවල් ළඟ ඉන්න අයත් තද වෙනවනෙ. පා පුවරුවෙත් තව
අයියල කීප දෙනෙක් හිටිය. පූරුවේ වාසනාවකට දුම්රිය නැවැත්තුව. ඊළඟට බහින්න
කලබලේ. ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව බැස්ස නෙමේ පැන්න. මේ වගේ වෙලාවට
ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙනවනෙ. ටිකකින් දැනගත්ත පාර්සලේ අයිතිකාරය ඉන්නව
කියල. මිනිස්සු ඒ මිනිහට ඊට පස්සෙ කොහොම සැලකුවද කියලනන් මම දන්නෙ නෑ.
දුම්රිය නැවතත් ගමන පටන් ගත්ත. දැන් තදබදය වැඩියි. ආපු සමහර මිනිස්සු මම
හිටපු පෙට්ටියේම නැවතිලා, ජන ඝණත්වය වෙනස් වෙලා. ආපහු දුම්රිය රත්මලානෙ
නැවැත්තුව. මිනිස්සු ඔක්කොම බැස්සුව. පොලිස් නිලධාරීන් ඇවිල්ල දුම්රිය
සෝදිසි කරා. ප්‍රශ්ණයක් නෑ. ආපහු ගමන පටන් ගත්ත.

අවසන් ප්‍රථිඵලය
විනාඩි 45 ක් විතර ගමන ප්‍රමාද වීම. නමුත් තවත් සිද්ධියක් මීට වඩා භයානක
විදිවට අවසන් වෙන්නත් ඉඩ තියෙනව. ඒක නිසා මිනිස්සුන්ගෙ සැළකිලිමත් බව
වැදගත් ඒක අගය කරන්න ඕන. නමුත් අනවශ්‍ය ලෙස කලබල වීම නම් ඒ තරම් සුදුසු
නෑ. එක අතකින් අද රටේ ආරක්ෂක තත්වෙ හැටියට ඒකට දොස් කියන්නත් බෑ. කවදහරි
මැරෙන බව දැන දැනත් මිනිස්සු හැමදේම කරන්නෙ ජීවත් වෙන්නනේ.

කොහොම වුනත් ඒ අත්දැකීම වටිනව.


මොඩම් රවුටර් හුටපටය…

මම පාවිච්චි කරන්නෙ උබන්ටු. මම අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නෙ ZXDSL 852 මොඩම් එක හරහා.

අද මම රවුටර් එකක් සම්බන්ධ කරල අන්තර්ජාලයට සම්බන්ධ වුණා. ඊට පස්සෙ මොඩම් එක සම්බන්ධ කරල බලනකොට සම්බන්ධතාවය තියෙනව ඒත් වෙබ් පිටු බලන්න බෑ. මම ubudsl පැකේජ් එකත් ආපහු ස්ථාපනය කරල බැලුව. ඒත් වැඩේ හරි යන්නෙ නෑ. ඊට පස්සෙ මම ඩනිෂ්ක අයියට කථා කරල බැලුව. එතකොටයි වැඩේ තේරුණේ. DNS එක වෙනස් වෙලා. මට කොහොමත් ඔය නෙට්වර්කින් ගැන එච්චර දැනීමක් නෑ. පස්සෙ මම ස්ටෙෆාන්ගෙන් DNS ඇඩ්‍රස් ඉල්ල ගත්ත ඒව දැම්මට පස්සෙ වැඩේ ගොඩ.

අද ගෙදර ඉන්න දවසෙ පැයක් විතර අන්තර්ජාලයට සම්බන්ධ නොවී ඉන්න වුණාට මොකද අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණ. ඒක ලොකු දෙයක් ………


අලුත් විදියක් ……

මේ වැඩේ හරියන්නෙ නෑ. මම හිතුව මේ බ්ලොග් එක දින පොතක් විදියට ලියන්න. දින පොතක් කිව්වට ඉතින් හැමදාම ලියන්න වෙයිද දන්නෑ. මේක පොතක් අරන් ලියනව වගේ නෙමෙයිනේ. අපි ඉස්සරහට බලමුකො ……..