Category Archives: නිදහස් හා විවෘත මෘදුකාංග

Empathy log

Empathy කියන්නෙ multi protocol chat client එකක්. chat client එකක් කියන්නෙ yahoo messenger, gtalk වගේ හැබැයි Empathy, multi protocol, ඒ කියන්නෙ yahoo, gmail සහ තවත් බොහෝ සේවාවල chat පහසුකම මේ හරහා භාවිතා කරන්න පුළුවන්. වැඩේ ලේසියි. එක වැඩසටහනයිනේ. මම මේකට මීට කලින් භාවිතා කලේ නම් Pidgin. Empathy ආව මුල් කාලෙ දාල බැලුවට ඒක එච්චර හිතට ඇල්ලුවෙ නැති නිසා Pidginම පාව්චිච් කරා. ළඟදි Fedora 13 අලුතින්ම දාපු වෙලාවෙ ඉදන් තමයි Empathy පූර්ණ කාලීනව පාවිච්චි කරන්න ගත්තෙ. දැන් Fedora වල පෙරනිමියෙන් එන්නෙ Empathy කලින් ආවෙ Pidgin. Empathy හොඳයි අවුලක් නෑ. Pidgin වල තියෙන සමහර කොටස් මේකෙ නෑ, අලුත් ඒවා තියෙනව. එහෙම වෙන්න එපැයි නේද?

කතා කරන්න ආවෙ ඒ ගැන නෙවේ. අද මට ඕන වුණා Empathy chat log එක බලන්න. මේවා තියෙන්නෙ ~/.local/share/Empahy/logs කියන තැන. ~ කිව්වෙ නිවාස බහාලුම (home folder). හැබැයි මේ log file බලන්න ටිකක් අමාරුයි. ඒ කිව්වෙ තොරතුරු වැඩියෙන් තියෙනව. අපිට ඕන ඒවා තෝරල බේරල ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා මම පොඩි python script එකක් ලිව්වා. මේක මම පරීක්ෂා කරල file වලටනම් හරිගියා. මොකක්හරි අවුලක් තියෙනවනම් හරි දියුණු කරන්න අදහසක් තියෙනවනම් comment එකක් දාන්න.


#!/usr/bin/python2.6
#
# W.H. Kalpa Pathum 
# 6th August, 2010
#
#	empathy_log.py
# This script formats a empathy log file in a more human readable way
# usage : empathy_log 
#

import re
import sys

msg_d = ''

def print_output(message_data):
	global msg_d

	# print the conversation date
	if msg_d != message_data[0]:
		msg_d = message_data[0]
		print 'Conversation with', message_data[2], 'on', msg_d

	print '('+ message_data[1]+ ')',  message_data[2], ':',  message_data[3]

def main(filename):
	f = open(filename, 'r')
	# read line by line and extract message details
	lines = f.readlines()

	for line in lines[3:-1]: # except first three lines and last line
		match = re.findall('^([\w\W]+)<', line)
		if match:

			for item in match:
				# format msg_d
				d=item[0][:4] + '-' + item[0][4:6] + '-' + item[0][6:]

				message_data = [d, item[1], item[2], item[3]]
				print_output(message_data)

		# if the pattern is not found, print the modified line
		else:
			print re.sub('<[/message][\w\W]*>', '', line),

	f.close()

if __name__ == '__main__':
	main(sys.argv[1])


මෙතනින් බාගන්න


nautilus සමඟ Dropbox

 

Dropbox ගැන හුඟක් දෙනෙක් දැනටමත් දන්නව ඇති. Dropbox කියන්නෙ තමන්ගෙ ගොනු සමමුහුර්ත කරන්න (sync) තිබෙන සේවාවක්. මේ සේවාව සමඟ වැඩ කරන්න එක් එක් මෙහෙයුම් පද්ධතියට සේවාලාභී යෙදුම් (client applications) ඉදිරිපත් කරල තියෙනව. Fedora වලටත් එහෙම යෙදුමක් තියෙනව. ඒක ස්ථාපනය කරාට පස්සෙ අපි කැමති නාමාවලියක් (directory) අපිට අපේ Dropbox නාමාවලිය කියල හඳුන්වන්න පුළුවන්. අපි ඒ නාමාවලියට පිටපත් කරන ඕනෑම දෙයක් Dropbox සේවාදායකව (server) සමඟ සමමුහුර්ත වෙනවා. මේ දේ සිදුවෙන්න ස්වයංක්‍රීයව. අපිට කරන්න තියෙන්නෙ අපිට සමමුහුර්ත කරන්න ඕන ගොනු හෝ නාමාවලි අර කලින් කියපු Dropbox නාමාවලියට පිටපත් කරන්න විතරයි.

ඒත් මෙතන පොඩි අවුලක් තියෙනව. අපි හිතමු අපි මොකක්හරි ලිපියක් සංස්කරණය කරමින් ඉන්නව කියල. අපිට ඒක සමමුහුර්ත වෙන්නත් ඕන. එතකොට කරන්න ඕන අර ගොනුව Dropbox නාමාවලියට පිටපත් කරල සංස්කරණය කරන එක. ඉතින් ඒක සමහර වෙලාවට අපේ පරිගණකයේ අපි ගොනු සහ නාමාවලි පෙළගස්වා තිබෙන විදියට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ documents වල තියෙන්න ඕන ලිපියක් Dropbox නාමාවලියෙ තියෙනකොට අවුල්නේ. මේකට Fedora (සහ බොහෝ විට අනෙක් linux පාදක මෙහෙයුම් පදධති) වලදි නම් අදාල ගොනුවේ හෝ නාමාවලියේ symbolic link එකක් හදල ඒක Dropbox නාමාවලියට පිටපත් කිරීම ප්‍රමාණවත්. ඒ කියන්නෙ අපේ ලිපිය තියෙන්නෙ අපිට තියෙන්න ඕන තැන (උදා documents) ඒත් අපි symbolic link එකක් හදල ඒක Dropbox නාමාවලියට පිටපත් කරල තියෙනව. ඒක නිසා ගොනුව සමමුහුර්ත වෙනවා. ඒ කියන්නෙ අපිට ඕන වැඩ දෙකම කෙරෙනව.

ඒත් මේ ක්‍රමයත් අපි ගොනු කීපයක් සමඟ වැඩ කරනකොට අපහසුයි. එක් එක් ගොනුවට symbolic links හදන්න ඕන, ඒවා පිටපත් කරන්න ඕන වැඩ ගොඩයි. ඒක නිසා මම මේක ටිකක් පහසු කරගන්න ලිව්වා script එකක්. මේක nautilus-script එකක්. nautilus කියන්නෙ GNOME වල file manager එක. GNOME කියන්නෙ desktop environment එකක්. nautilus-script කියන්නෙ nautilus හි ක්‍රියාකාරිත්වය වර්ධනය කරන්න තියෙන පොඩි විධානාවලියක්. පහත තියෙන්නෙ ඒ මම ලියපු script එක,

#!/bin/sh
#
# W.H. Kalpa Pathum <callkalpa@gmail.com>
# 1st June, 2010
#

# Dropbox directory
DROPBOX_DIR="$HOME/Dropbox/"

# creates a temporary file
file_list=$(mktemp)

# writes the URIs of the selected file to the temp file
echo $NAUTILUS_SCRIPT_SELECTED_URIS | sed 's/ \//\n/g' > $file_list

# iterete through the file list
for file in $(cat $file_list)
  do
    # extract the last filed from the URI, that is the file name
    filename="$(echo $file | awk -F'/' '{print $NF}' | sed 's/%20/ /g')"

    # creates the symbolic link
    ln -s "$(pwd)/$filename" "$DROPBOX_DIR$filename"

    # sets the emblem
    gvfs-set-attribute -t stringv "$filename" metadata::emblems default
    done

exit 0

දැන් කොහොමද මේක භාවිතා කරන්නෙ?

  1. පහත සබැඳියෙන් ගොනුව බාගත කරන්න
  2. gedit වැනි text editor එකකින් එම ගොනුව විවෘත කරන්න
  3. ගොනුවේ $HOME/Dropbox/ යන්න ඔබට අදාල ලෙස වෙනස් කර ගොනුව සුරකින්න (save) ($HOME කියන්නෙ ඔබගේ Home නාමාවලියේ පෙත (path))
  4. ගොනුව ~/.gnome2/nautilus-scripts/ ට පිටපත් කරන්න
  5. ගොනුවට ක්‍රියාත්මක කිරීමේ අවසර ලබාදෙන්න (execute permissions) ඒ සඳහා පහත විධාන ලබා දෙන්න
cd ~/.gnome2/nautilus-scripts
chmod +x <your file name>

දැන් ඔබ මේ script එක භාවිතා කිරීමට සූදානම්. කරන්න තියෙන්නෙ nautilus වලින් ඔබට සමමුහුර්ත කිරීමට අවශ්‍ය නාමාවලිය(නාමාවලි)/ගොනුව(ගොනු) අඩංගු නාමාවලිය විවෘත කරන්න. ඊට පස්සෙ සමමුහුර්ත කරන්න අවශ්‍ය ගොනු හෝ නාමාවලි එකක් හෝ කීපයක් තෝරා right click කර එන මෙනුවේ Scripts උප මෙනුවෙන් script එකේ නම තෝරන්න. මේකෙන් වෙන්නෙ අදාල තේරූ අයිතම වල symbolic link එකක් හැදිල ඒක Dropbox නාමාවලියට පිටපත් වෙන එක.

symbolic link එක හැදුනට පස්සෙ අදාල අයිතම වල අයිකනට පැත්තෙන් පොඩි කොළපාට හරි ලකුණක් වැටේවි. මේකට කියන්නෙ emblem එකක් කියල. නමුත් මේ සළකුණ දකින්නනම් ඔන nautilus refresh කරන්න ඕන. refresh නොකර මේ emblem එක පෙන්නන්න පුළුවන් විදියක් නම් මට හොයාගන්න බැරි වුණා.

එහෙනම් කට්ටියම මේක පාවිච්චි කරල බලල හොඳ නරක දෙකම කියන්න.

මෙතනින් බාගන්න

ප.ලි: මේ ගැන මම මුලින්ම දැන්මෙ මගේ ඉංග්‍රීසි බ්ලොග් එකේ. සිංහලෙන් ලියන්න හිතන් හිටියට වැඩ වැඩි වුණ නිසා ලියන්න බැරි වුණා. ඉතින් අපේ ගයාන් තාරකත් මගෙන් ඉල්ලීමක් කලා මේක සිංහලෙන් ලියන්න කියල. ඉතිං ඒ නිසා තමයි ලැබුණු සුළු විවේකයක මේ ලිපිය මේ විදියට ලියවුණේ.


Twitter, Facebook සහ Pidgin

කියන්න යන්නෙ වැඩක් ලේසි කර ගන්න ක්‍රමයක් ගන්න (ලේසියෙන් කරන්න ගිහින් වැඩ අල වුණොත් ඔන්න මම නෑ 😀 )

Pidgin වලට තියෙනව purple-microblog කියල ප්ලගින් එකක. ඒකෙන් Twitter එකත් වෙනම ගිණුමක් (account) විදියට එකතු කර ගන්න පුළුවන්. මේකෙන් අපේ Twitter තත්වය යාවත්කාල කරන්න (status update), අනිත් අයගෙ තත්ව බලා ගන්න ආදී twitter වලින් කරන්න පුළුවන් හැම දෙයක්ම වගේ මේ ප්ලගින් එක හරහා කරන්න පුළුවන්.

ෆෙඩෝරා වල ඉදන් purple-microblog ස්ථාපනය කරගන්න නම් terminal එකේ ඉදන් මෙහෙම විධානය දුන්නහම හරි,
yum install purple-microblog

Facebook වල තියෙනව twitter කියල වැඩසටහනක්. මේකෙ තියෙනව twitter මඟින් Facebook තත්වය යාවත්කාල කරන්න කියල විකල්පයක්. ඒක දැම්මාම වැඩේ ගොඩ.

දැන් twitter වලින් තත්වය යාවත්කාල කරහම Facebook වලත් ස්වයංක්‍රීයවම තත්වය යාවත්කාල වෙනවා.

මේ වැඩේ මට නම් ලේසියි. twitter.com වලට නිතරම යන්න ඔනෙත් නෑ, දෙපාරක් තත්වය යාවත්කාල කරන්න ඕනෙත් නෑ. අලුත් අවුරුද්දෙ කොච්චර සිම්පල් ප්ලෑන් එකකෙද ? 🙂


wine රහ

අද අම්මගෙ Excel ගොනු වල වැඩ වගයකට හදිස්සියේ MS Excel ඕන වුණා. අම්ම වෙනද වැඩ කරන්නෙ කාර්යාලයේ නිසා අවුලක් නෑ. ගෙදර තියෙන්නෙ Fedora නේ. ඉතිං කේස්. ‌මම wine වලින් උත්සහ කරල බැලුවා. wine වලින් MS Office 2003 ස්ථාපනය කරා. කිසි අවුලක් නෑ.  Windows වල ඉදන් කරාටත් වැඩිය හොඳයි වගේ 😉 Excel, Word වැඩ. අනිත් ඒවා නම් තාම බලන්න වුණේ නෑ. අම්මගෙ වැඩෙත් කරගත්තා. කිසි අවුලක් නෑ.

මම මේ කල්පනා කළේ wine දියුණු වෙච්ච තරම.

කල් යනකොට wine රහ වෙනව කියන්නෙ නිකමටයැ ……. නැද්ද මං අහන්නෙ ?


Convert

convert කියන්නෙ ලිනක්ස් වල විධාන රේඛාවෙ ඉදන් පින්තූර ගොනු එක්ක වැඩ කරන්න තියෙන බොහොම වටින මෙවලමක්. මේක මුලින්ම දැක්කෙ නිදහස් හා විවෘත මෘදුකාංග දිනයට ගාල්ල ඕල්කට් විද්‍යාලයේ පැවති වැඩමුළුවෙදි. එදා අනුරාධ අයියා මේ මෙවලම භාවිතා කරල පින්තූර ගොනු නැවත ප්‍රමාණනය කිරීම කර්තෘ හිමිකම් (copyright) ලේබලයක් පින්තූරයට එක් කිරීම වගේ දේවල් කරල පෙන්නුවා. ඒ කාලෙ ඕව ඕන වුණේ නැති නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නෑ.

අද උදේ හිරන්‍ය (මගේ යාළුවෙක් සමහර විට අහල ඇති) කථා කරල අහුවා jpg ගොනු 160ක් විතර තියෙනව ඒවායෙ විභේදනය අඩු කරන්න සහ කර්තෘ හිමිකම් ලේබලයක් එක් කරන්න ලේසි ක්‍රමයක් තියෙනවද කියල. මට එක පාරටම කලින් සිද්ධිය මතක් වුණා. හැබැයි මෙවලමේ නමවත් මතක නෑ. ගූගල් පිහිටෙන් විස්තර හොයාගෙන convert ස්ථාපනය කරන්න උත්සහ කරා. ස්ථාපනය කරන්න දෙයක් නෑ, Fedora 10 එකත් එක්ක පෙර නිමි ඒක එනවා. කොහොම කොහොම හරි script එකක් ලියල මම මගේ ලඟ තියෙන jpg ගොනු ටිකක පරීක්ෂා කරල බැලුවා. වැඩේ ගොඩ.

හිරන්‍යගෙ පරිගණකයේ අන්තර්ජාල පහසුකම් නෑ (මිනිහා දැන් වැඩිපුර ඉන්නෙ කොළඹ නේ) මෙහෙයුම් පද්ධතියත් ලිනක්ස් නෙමේ. කුබන්ටු සජීවි තැටියක් දාල බැලුවා, ඒකෙ convert නෑ. ඊට පස්සෙ open solaris දාල බැලුවා, වෙලාවට ඒකෙ convert තිබුනා. ඉතින් වැඩේ ගොඩ. වැඩේට ගියේ විනාඩි 3ක් විතර. 372MB ගොනු 75MB බවට පත් වුණා. මේ ටික GIMP හෝ Photoshop හෝ වලින් කරන්න ගියා නම් කොච්චර කාලයක් වැය වෙයිද ?

මෙන්න script එක

#! /bin/sh

DIR=~/123

for n in $(ls $DIR)
{
convert $DIR/$n -resample 28.25 -gravity SouthEast -fill white -draw ‘text 10,10 “COPYRIGHT TEXT”‘ $DIR/$n
echo $n
}

exit 0


උබුන්ටු සිට ෆෙඩෝරා වෙත ගියෙමි

ස්ථාපනයට භාවිතා කළේ ෆෙඩෝරා ස්ථාපන DVD තැටිය. මගේ මූසිකය ස්ථාපන චිත්‍රක අතුරු මුහුණතේ පෙන්නුවෙ නෑ. මම හිතුව ස්ථාපනයෙන් පස්සෙ හරි යයි කියල. ඒක නිසා ස්ථාපනය සම්පූර්ණයෙන්ම යතුරු පුවරුවෙන් 😛 .

දැන් පාටිෂන් තෝරන තැනට ආව. මම දැක්කෙ Manual විකල්පය තේරී තියෙනව වගේ. මම Enter කරා. ඊට පස්සෙ ඇහුව තැටිය format කරන්න ඕනද කියල. මම Back තේරුව (මට මතක හැටියට). මෙන්න ඒ පාර format වෙන ප්‍රගතිය පෙන්නන කවුළුවක් එනව. මම ඊට පස්සෙ ස්ථාපනයෙන් අයින්වෙලා නැවත පරිගණකය පණගන්වල බැලුව. මාර වැඩේ, උබුන්ටු ප්‍රවේශනය වෙන්නෙ නෑ. සජීවී තැටියකින් ගිහින් බැලුවම උබුන්ටු තිබ්බ පාටිෂන් එකේ මොනවත් නෑ, හිස්. මට තරු පෙනුණා. මොනව කරන්නද 😦

සටහන : මේක ෆෙඩෝරා/උබුන්ටු වල අවුකල් නෙමේ. භාවිත කරන්නාගේ දෝෂයක් නිසා සිද්ද වෙච්ච දෙයක්, ඒ කියන්නෙ ඉතිං මගේ තමයි 🙂

ප්‍රතිස්ථාපන වැඩසටහන් කීපයක්ම පරීක්ෂාකරල බලල අන්තිමට PhotoRec වලින් ප්‍රතිස්ථාපනය කළා. ප්‍රතිස්ථාපනයක් කිව්වට ඒක අවුල් ගොඩක්. ගොනු නාම වෙනස්, නාමාවලි ආකෘතිය නෑ. ප්‍රතිස්ථාපනය කරාට මොකද තාම ඒකට අත තියන්නවත් බැරි වුණා 😉

ඊට පස්සෙ ෆෙඩෝරා දැම්මා. ප්‍රධාන ප්‍රශ්ණ දෙකයි.
1) ZXDSL 852 (SLT ADSL modem) මොඩමය ෆෙඩෝරා වල වැඩ කරන්නෙ නෑ
2) තාමත් මූසිකය පෙන්නන්නෙ නෑ

ඊට පස්සෙ රවුටරය ගෙනැල්ල අන්තර්ජාලයට සම්බන්ධ වුණා. MP3, DVD codecs එහෙමත් ස්ථාපනය කළා (මේ ලිපියේ උදව්වෙන්).

මූසිකයෙ අවුල ලිහා ගත්තෙ මෙතනින්.

දැන් ඔක්කොම හරි. දැන් ඉන්නෙ ෆෙඩෝරා වල.

මේක හැබැයි මේ කියන තරම් ලේසියෙන් හා ඉක්මනට කරන්න නම් වුණේ නෑ, දන්නෝ දනිති 😉

මම මුලින්ම ස්ථාපනය කළ ලිනකස් මෙහෙයුම් පද්ධතිය RedHat, ඒ මම 9 ශ්‍රේණියේ ඉගෙනගන්න කාලෙ. මට මෙලෝ දෙයක් තේරුණේ නෑ. MP3 අහන්නත් බෑනේ 😉 , අන්තර්ජාල සම්බන්ධතාව තිබුනෙත් නෑ. ඊට පස්සෙ උබුන්ටු, පටන් ගත්තෙ 5.04 වලින්. ඒක නම් අල්ලල ගියා. දැනට පාවිච්චි කර ඇති අවසන් උබුන්ටු වෙළුම 8.10. මුල අමතක කරන්න හොඳ නෑනේ, ඒකයි මේ ටික කිව්වෙ. උබුන්ටු ලේසි නොවුණනම් සමහර විට මම තාමත් වින්ඩෝස් වල. ඒකයි උබුන්ටු වල විශේෂත්වය. වින්ඩෝස් වල ඉදන් ලිනක්ස් වලට එන කෙනෙකුට මම නම් මුලින්ම යෝජනා කරන්නෙ උබුන්ටු. ඉතිං උබුන්ටු වල ඉදන් ෆෙඩෝරා වලට ගියේ ඉගෙන ගන්න බොහෝ දේ ඇති නිසා.

ෆොඩෝරා DVD එකේ එන පෙරනිමි සිංහල සහය ගැනත් මතක් කරන්න ඕන. සයුර පවා මේකෙ තියෙනව.

මේ සම්පූර්ණ ක්‍රියාවලිය තුළ උදව් කළ හැමෝටම තුති !

ඉදිරියට ෆොඩෝරා තුළ සිට ෆෙඩෝරා ගැන ලියවෙන සටහන් බලාපොරොත්තු වන්න …..


උබුන්ටු හා හූනා

ඊයෙ රෑ උබුනටු 8.10 වලට මාරු වෙන්න හිතාගෙන update manager වලින් ඇස්තමේන්තු කාලය බැලුව. පැය 6ක්. මගේ අන්තර්ජාල සම්බන්ධතාව SLT ADSL නේ. උදේ වෙනකම් ඉන්න වෙන නිසා වැඩේ අද උදේට කල් දැම්මා.

උදේ නැගිට්ට ගමන් යාවත්කාල (upgrade) වෙන්න දාල මම ගියා පොඩි වැඩ වගේකට එළියට. ආපහු එනකනුත් වැඩේ යනව (packages බානව). මොනව කරන්නද, අතින් බාල දෙන්න බෑනේ. මෙන්න ටික වෙලාවකින් ඇවිල්ල බලද්දි පරිගණකය off වෙලා. කරන්ට් එකත් තියෙනව. මම ආපහු on කරල බැලුව. සද්දයක් නෑ. ඒපාර UPS එකෙන් ගලවල කෙලින්ම ගහල බැලුව. මෙන්න ඒ පාර trip switch එක off වෙනව. Power unit එකේ ලුහුවත් වීමක් වෙන්න ඇති. ඒ පාර පරිගණකය ගත්ත තැනට ගෙනිහින් දුන්න. Power unit එකේ අලුත්වැඩියා කරන්න පුළුවන් කොටස් නෑ කියල ඒකෙ ගහලම තියෙනවනේ, ඒක නිසා බාස් වැඩ කරන්න ගියෙ නෑ. බලනකොට හූනෙක් ගිහිල්ල. ඌ උබුන්ටු දාන්න ගිහින්ද කොහේද. කොහොම වුනත් ඉතිං පවු වැඩේ. මොනව කරන්නද. ඌ අයින් කරාට පස්සෙ වැඩේ ගොඩ.

ගෙදර ගෙනැල්ල බලද්දි බාපු ගොනු ටික /var/cache/apt/archives/ එකේ තිබුන. හොඳ වෙලාවට. නැත්තම් මුල ඉදල බාන්න එපැයි. ඉතුරු ටිකත් බාල වැඩේ සම්පූර්ණයෙන් බා ගත්ත.

දැන් ඉන්නෙ උබුන්ටු 8.10 එකේ.